බොරැල්ල පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය කජිමා වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩින් නොහොත් බායි නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් දින කීපය තුළ සැකකරු ප්‍රදේශය හැර සහ ගොස් තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් රත්නමලල මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වකුගඩුවකට රුපියල් කෝටි එකහමාර, ලක්ෂ 80 ආදී විවිධ මිල ගණන් ලබා දෙන බව පවසා කොළඹ 14 සහ 15 ප්‍රදේශ වල පදිංචි දිළිඳු පවුල්වල පුද්ගලයන් 4 දෙනෙකු සහ කාන්තාවකගෙන් වකුගඩු ලබාගෙන රුපියල් දෙලක්ෂ පනස් දහසක් වැනි සුළු මුදලක් ලබාදී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
එලෙස බොරැල්ල පොලීසියට පැමිණිලි කළ පුද්ගලයන් සිව්දෙනා සහ කාන්තාව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයන්ගේ එක් වකුගඩුවක් ඉවත් කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් ද තහවුරු වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
එලෙස වකුගඩු ලබාදුන් ලබා දුන් පුද්ගලයන් තමන්ට පොරොන්දු වූ මුදල ලබා නුදුන් බව පවසමින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.
දිළිඳු පුද්ගලයන් ගෙන් ලබාගත් වකුගඩුවක් නීති විරෝධී අයුරින් විදේශීය ජාතිකයකුටද බද්ධ කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
වකුගඩු ලබාදුන් ලබා දුන් පුද්ගලයන් එම රෝහල වෙත ගොස් මුදල් ඉල්ලා ඇවිටිලි කිරීමේදී බස්නාහිර පළාත භාරව සිටි හිටපු බුද්ධි ප්‍රධානියෙක් එම වකුගඩු ලබාදුන් පුද්ගලයන් හමුවට පොලිස් නිල ඇඳුමෙන් ගොස් එම පුද්ගලයන්ව බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය අසළ ස්ථානයකට රැගෙන ගොස් ලබාදුන් මුදලට අමතරව වෙනත් කිසිදු මුදලක් නොඉල්ලන බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගෙන බලපෑම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ඒකක දෙක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් රත්නමලල මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.