ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය ප්‍රකාශ කළා ය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා පැවැති හමුවකදී ඇය මේ බව සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍ය පීරිස් මහතා මෙහිදී ඉල්ලා සිටියේ ය.
ඉදිරි අයවැය ප්‍රකාශයට පත් කිරීමේ දී අයවැය හිඟය අවම කරගැනීම හේතුවෙන් මතුවන අභියෝගවල බරපතලකම පිළිබඳව ද ඔහු අවධාරණය කළේ ය. තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව අගය කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමඟ ද කටයුතු කරන බවත්, ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 'ප්‍රතිව්‍යුහගත'කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ප්‍රකාශ කළා ය.
