ලෝක බැංකු සහායෙන් සුළු වාරි ව්‍යාපෘති 296ක් ප්‍රතිසංස්කරණය කරයි
මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන යටතේ මේ වන විට සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 5,834කට අධිකය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් මෙහෙයවන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project - IRDCRP) යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
දිවයින පුරා ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලීම, වාරි යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.
IRDCRP ව්‍යාපෘතියේ සාමාන්‍ය ප්‍රතිසංස්කරණ සංරචකය යටතේ පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 06ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රුපියල් 256,168,900.88ක මුදලක් වෙන් කර තිබේ.
මේ අතර, ව්‍යාපෘතියේ හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (Emergency Response Component - CERC) යටතේ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් දිස්ත්‍රික්ක 18ක පිහිටි සුළු වාරි වැව් 290ක් හදිසි ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ. ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් 5,578,334,825.34කි.
එම හදිසි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 97ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 24ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 19ක් සහ මහනුවර හා වවුනියාව දිස්ත්‍රික්කවල වැව් 15 බැගින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මගින් වැව්වල ජල රඳවා ගැනීමේ ධාරිතාව සහ වාරි ජලය බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. ඒ තුළින් ගොවීන්ට නියමිත කාලයේදී වගා කටයුතු සඳහා විශ්වාසදායක ජල සැපයුමක් තහවුරු කිරීමට හැකි වනු ඇත.
එමෙන්ම අධික වර්ෂාපතනය, ගංවතුර සහ නියඟය වැනි දේශගුණික අවදානම් හමුවේ වුවද කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන පරිදි වාරි පද්ධති ශක්තිමත් කිරීමද මෙම වැඩසටහනේ අරමුණකි.
ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම තුළින් ගොවි ජනතාවගේ ආර්ථික මට්ටම සහ ජීවනෝපාය නංවාලීමද මෙහිදී අපේක්ෂා කෙරේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා පරිපාලන දායකත්වය මෙන්ම ප්‍රාදේශීය ගොවි සංවිධානවල සක්‍රීය සහභාගීත්වය ඇතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන ජාලය හරහා ව්‍යාපෘති කටයුතු සම්බන්ධීකරණය කෙරෙන අතර, ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් රැසක් මෙම කටයුතු සඳහා සෘජුවම දායක වෙති.
ලෝක බැංකු මූල්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ආපදා හේතුවෙන් හානියට පත් වාරි පද්ධති යළි ගොඩනැංවීම පමණක් නොව, අනාගත දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දිය හැකි තිරසාර කෘෂිකාර්මික පරිසරයක් ගොඩනැගීමටද දායක වනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

