දිඹුලපතන පොලිස් වසමට අයත් විජයබාහුකන්ද, මැදගමමැද්ද ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරේදා (05) රාත්‍රීයේ පෙරළීයාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාවණාගොඩ ප්‍රදේශයේ පදිංචි හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරනු ලබන පී. ජගත් ජයනන්ද බණ්ඩාර (48) නැමැති දෙදරු පියෙකි.
හැටන් සිට මැදගමදැද්ද ප්‍රදේශයේ නිවසක් ඉඳි කිරීම සඳහා වැලි සහ සෙවිලි තහඬු තොගයක් පටවාගෙන යමින් සිටියදී ලොරි රථය මාර්ගයේ ඉහළට ගොස් යළි ආපසු පසුපසට ධාවනය වී රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මෙසේ පාර හරහා පෙරළී ගොස් ඇති බවට පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම කොන්දොස්තරවරයා සේවය නිමා කොට නිවස බලා ඒම සඳහා ලොරි රථයේ පිටුපස කොටසේ ගමන් ගනිමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති අතර, ලොරි රථයේ තිබු සෙවිලි තහඬු ශරීරය මතට වැටීමෙන් අවාසනාවන්ත ලෙස එම පුද්ගලයා මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි.
අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයාද තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා මල්දෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට තිබේ.
මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ
