දැනට ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඉන්දියාවේ ලුණු පැකැට් සදහා මෙරට ඇසුරුම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොළඹ වරායේ දින 45 ක් තිස්සේ සිර වී ඇති ලුණු බහාලුම් 400 කඩිනමින් නිදහස් කර දෙන ලෙස රජයෙන් ඉල්ලා ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකවරුන්ගේ සංගමය විසින් ඊයේ රාත්‍රී 07.00 ට ප්රවෘත්ති සාකච්ඡාවක් කටුනායක හෝටලයකදී පැවැත්වීය.
ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකවරුන්ගේ සංගමයට රජයේ සහ පෞද්ගලික ලුණු නිෂ්පාදන ආයතන 22 ක් සම්බන්ධ වී ඇති අතර ඔවුන් පුත්තලම , මන්නාරම , අලිමංකඩ , ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රදේශ වල ලුණු ලේවායන් 07 ක පිරිපහදු සහ නිෂ්පාදන කර්මාන්තශාලා 20 ක් පවත්වා ගෙන යමින් සිටිති .
මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී මුළින්ම අදහස් දැක්වූ ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා "ඉකුත් 2023 වසරේ අග භාගයේ යළ කන්නයේ සිට මෙම ලුණු ලේවායන් පිහිටි ප්‍රදේශ වලට අධික වැසි සහිත කාළගුණික තත්වයන් නිසා ලුණු ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාම අපහසු උනා . එය 2024 වසරේ මහ කන්නයේදීත් ඒ ආකාරයටම අයහපත් කාළගුණික තත්වය නිසා ලුණු නිෂ්පාදනය අඩපණ වුණා.
මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ ලුණු ආරක්ෂිත තොගයක් නොමැති වූ අතර , වාර්ෂික ලුණු පරිභෝජනය වූ මෙට්‍රික් ටොන් 185,000 ක් ආනයනය කිරීමට සිදු වුණා. එහිදී රාජ්‍ය ආයතන වලට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් ද මෙරටට ඉන්දියාවෙන් ලුණු ආනයනය කළ අතර එම ලුණු පැකැට් වල ශ්‍රී ලංකාවේ ඇසුරුම් නීතියට අදාල විස්තර සදහන් වී නෑ"
මීට අමතරව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක චමින්ද රුසිරු මාලියද්ද මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය .
"අප සංගමයේ සාමාජිකයන් ලුණු මෙට්‍රික් ටොන් 11,200 ක් අඩංගු රුපියල් මිලියන 800 ක් වටිනා ලුණු බහාලුම් 400 ක් තවමත් කොළඹ වරායේ සිර වී තිබෙනවා.
එම බහාලුම් රැගෙන ආ නැව් සමාගම් විසින් ප්‍රමාද වීමකට ලක් වීම නිසා මෙම ගැටළුව ඇති වී තිබෙනවා . අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙම බහාලුම් 400 කඩිනමින් නිදහස් කර දෙන ලෙස" යැයි රුසිරු මාලියද්ද මහතා ඉල්ලීමක් කළේය.
