ලබන වසරේ සිට 6 ශ්‍රේණියට අලුත් විෂයක්
2027 වසරේ සිට 6 ශ්‍රේණියට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී අද (05) පැවැති කොළඹ කොටස් හුවමාරුවේ (CSE) 40 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බවත්, එය රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
"විශේෂයෙන්ම, අපේ අනාගතය භාරගන්න ඉන්න පාසල් දරුවන් වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා. ඒ නිසාම, නව විෂය මාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා “ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව” නමින් නව විෂය ක්ෂේත්රයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.
සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින්, රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කරලා දෙන්නත් අපි කැපවී සිටිනවා.
අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදිහට හිතන්න. අවස්ථා එනකම් බලා ඉන්නේ නැතුව, නව අවස්ථා සොයන්න, අවස්ථා නිර්මාණය කරන්න. විභාගයකට ලකුණු ගන්න විතරක් නෙමෙයි, ජීවිත කාලයටම උපකාරී වෙන නිවැරදි මූල්‍ය පරිශීලනයක් සමාජය තුළ ගොඩනඟන්න එකතු වෙන්න."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
