වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලූ වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, අක්මීමන සහ හබරදුව මැතිවරණ කොට්ඨාසවල නායකයන් දැනුවත් කිරීම සහ පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල ආරම්භ කිරීම නිමිත්තෙන්, ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ රැස්වීමකදීය.
ගාල්ල දිස්ත්‍රික්කය ගත්තොත් තේ කර්මාන්තය මේ කතා කරන අවස්ථාවේ පවා බරපතළ ඛේදවාචකයකට මුහුණ පා තිබෙනවා. මේ සිදුවෙලා තියෙන අලාභය නැවත යථා තත්ත්වයට ගන්න වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව නැවත මේවා කප්පාදු කරලා නියමිත පරිදි පොහොර යොදලා දලූ කඩන්න පුළුවන් තත්ත්වයට ගෙන එන්න කාලයක් ගන්නවා. ඒ නිසා තමයි අපි කීවේ රසායනික පොහොර ගෙන්වීම අවස්ථානුකූලව කළ යුතු බවට යෝජනා කළේ.
ලෝකයේ තත්ත්වයෙන් උසස් පොහොර නොමිලේ හෝ රුපියල් 350 ක් වැනි අඩු මුදලකට ලබාදෙන්නත් බැහැ. නමුත් ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් දේශපාලනඥයෝ ජනතාවට ලබාදුන් පොරොන්දුවලට අනුව බාල පොහොර වර්ග යෙදීමෙන් සම්පූර්ණයෙන්ම අපේ පස විනාශ වෙලා තිබෙන්නේ. එම නිසා අපේ මහජනතාව, ගොවි ජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. මොකද එක පාර්ශ්වයක් කියනකොට රුපියල් 350 ට පොහොර දෙනවා කියලා අනිත් පාර්ශ්වය කියනවා නොමිලේ දෙනවා කියලා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ.