2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් බෙදා දීමට පියවර ගත්තේය.
ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කිරීමට පියවර ගත්තේය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අප රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12කි. මින් ගොවීන් 5,34, 433කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර තිබිනි. යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය හත් ලක්ෂ දාහත්දහසකි. ඉන් පන් ලක්ෂ තිස්හතර දහස් හාරසිය තිස්තුනකට මේ වනවිට වවුචර්පත් නිකුත් කර තිබේ.
මෙම සමස්ත වවුචර් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 11කි.
වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් නොදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
ඒ වෙනුවට ලබන මහ කන්නයේ දී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
රට තුළ ආර්ථිකමය වශයෙන් ගැටළු සහගත තත්ත්වයන් පැවැතියත් රජය විසින් ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා ලබා දෙන සහන තවදුරටත් ලබා දෙන බවත්, මේ නිසාම මෙම වසර අවසානය වන විට මෙරට සහල් අතිරික්තයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් ගොවීන්ට සහන සැලසීම සඳහා විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා කළ සියල්ලම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අනුමැතිය ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.