ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුගමනය කිරීම මගින් මෙරට උද්ධමනය ලබන මසදී 08%ක් දක්වා පහත බසිනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 65% ඉක්මවූ මෙරට උද්ධමනය මේ වන විට 14%ක පමණ ප්‍රතිශතයක් දක්වා පහත හෙළීමට හැකිවුණේ රජයේ නිවැරදි ආර්ථීක කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් යැයි ද ඒ මහතා කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව වෘත්තියවේදීන්, නිලධාරීන්, ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව කීවේය.
සැලකිය යුතු ප්‍රතිශතයක් කරා උද්ධමනය පහත දැමීමේ හැකියාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන නිසි අයුරින් පිළිපැදි නිසා යැයි කී ඒ මහතා රටවල් 190ක නියෝජනයක් සහිත එම අරමුදල රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට උපදෙස් දෙනු මිස කිසිදු අයුරකින් රටකට කොන්දේසි පනවන්නේ නැතැයි ද කීවේය.
මෑතකදී සිදු කළ ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු ගිණුම්වල මුදල් රජය කපා ගනු ඇතැයි ඇතැමුන් පැවසුවත් රජයක් එවැනි තීරණවලට කිසිසේත්ම නොඑළඹෙන බව ද ඒ මහතා කීය. දළ ජාතික නිෂ්පාදිතයෙන් 128%ක් වන ණය බර, ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් 95%ක් දක්වා අඩු කර ගැනීම කළ බවද සේමසිංහ මහතා සඳහන් කළේය.
මෙම කඩඉම් පසු කිරීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලබා ගැනීම පහසුවන බවත්, ආර්ථික කළමනාකරණ අංශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ප්රශස්ත මට්ටමක් කරා පැමිණ ඇති බවත් හෙතෙම කීවේය. අර්බුදයට පත්ව යළි ගොඩනැගෙන රටවල් අතුරන් වඩාත් යහපත් නිදර්ශනයක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝක සම්භාවනාවට පත්වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්