මගී ගමනාගමනය සඳහා පරිසර හිතකාමී බස්රථ 1000ක් ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව විදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීමට හංගේරියානු ‘ෂෙපල් හෝල්ඩිං’ සමාගම සමග එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
දෛනික මගී ප්‍රවාහන සේවය සැපයීම සඳහා බස්රථ 7,257ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් යෙදවිය යුතු වුවත්, මේ වන විට එම මණ්ඩලය සතුව ඇත්තේ බස්රථ 6,540ක් පමණි.
එමෙන්ම නියමිත ආයු කාලය අවසන් වීම හා බරපතළ අනතුරුවලට ලක්වීම හේතුවෙන් රථ ඇණියෙන් ඉවත් වන බස්රථ සඳහා නව බස්රථ 500ක් පමණ වාර්ෂිකව රථ ඇණියට එක්කළ යුතු බවට හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලය සඳහා නව බස්රථ 892 ක් මිලදී ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර මගී ප්‍රවාහන සේවයේ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවත් බස්රථ 1000ක් පමණ කඩිනමින් මිලදී ගත යුතු ඇති බවටද මේ වන විට හඳුනාගෙන ඇත.