ශ්රී ලංකා නාවික හමුදාව 2023 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෛයිනගර් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකල මුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්රෑම් 128 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, උතුරු නාවික විධානයට අනියුක්ත ශ්රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාව යාපනය, කරෛයිනගර් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2023 පෙබරවාරි මස 19 වන දින මුර සංචාරයේ යෙදී සිටියදී එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු ගමන් මලු තුනක් (03) පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම ගමන් මලු තුල පාර්සල් 42 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 128 ග්රෑම් 065 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලදැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම, රුපියල් මිලියන 42 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්ෂිතව තබා ඇත.




