ලක් තරුණියන් ඕමානයේදී අලෙවි කළ මහ මොළකරු අත්අඩංගුවට
ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරුඅද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශ වල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින් මෙම ජාවාරම සදහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
අබුඩාබි , ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් බස් රථ මගින් දේශසීමාව තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සදහා අලෙවි කර තිබේ.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර තිබේ.
මීට අමතරව මේ පිළිබඳ පැමිණිලි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය වෙත ලැබී තිබූ අතර එහි විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂණ සිදු කරමින් සිටියි.
මේ වනවිට අබුඩාබි ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථාන වල මෙම සිදුවීම් වලට ගොදුරු වූ තරැණියන් විශාල පිරිසක් රදවා ගෙන සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .
මොහු අද අලුයම 12.55 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත්අඩංගුවට ගැනීම සදහා නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබේ.
එසේ අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු භාර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කොළඹ සිට පැමිණෙන තෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ආරක්ෂාව සදහා රදවා තබා ගෙන තිබුණි .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම්කරු ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
-
dayananda Sunday, 20 November 2022 06:50 PM
නීතියක් නැති රටක මේ දේවල් කරන්නේ කෝල් එකකින් ශේප් වෙන්න පුළුවන් නිසා...90% දුෂිත දේවල් වලට පොහොට්ටුවේ පට්ට හැත්ත හවුල්..... මිනිස්සු මෙලෝ රහක් නැතිව විදවමින් ඉන්නවා.. කබුරනවා මැරෙනවා දරුවන්ටත් ඒ දුක උරුම කරවනවා.. වෙනසක් කරන්න සුදානම් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

