ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ විට චීනය කිසි විටෙකත් මගහැර නොගිය බව ශ්‍රී ලංකාවේ චීන තානිපති චී චෙන්හොං මහතා පවසයි.
එසේම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පසු ගත වූ වසර 64 දෙස ආපසු හැරී බලන විට, චීනය කුමන මට්ටමෙන් සංවර්ධනය වුවත්, කෙතරම් දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් හී විවිධ සැකසීම් සිදුවුවත් චීනය සැමවිටම ශ්‍රී ලංකාවට සමානාත්වයෙන්, අවංකත්වයෙන් සහ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව සලකා ඇති බවත් ඔහු පැවැසීය.
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත ප්‍රතිකාර රෝහලේ සමාරම්භක උත්සවය අමතමින් තානාපතිවරයා මේ බව පැවැසීය.
“අද ශ්‍රී ලාංකික ජනතාව බොහෝ කලක් බලා සිටි හොඳ දිනයකි. අද දිනය චීන-ශ්‍රී ලංකා සබඳතා ඉතිහාසයේ ද සිහිපත් කළ යුතු වැදගත් දිනයකි. COVID-19 අභියෝගයන් නොතකා, දකුණු ආසියාවේ විශාලතම වකුගඩු විශේෂිත ප්‍රතිකාර රෝහල වන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල විවෘත කිරීම සඳහා අපි මේ ඓතිහාසික පොලොන්නරුව නගරයට පැමිණ සිටින්නෙමු.
ගෙවුණු වසර කිහිපය තුළ චීනය සහ ශ්‍රී ලංකාව එක්ව විවිධ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා විශේෂයෙන්ම COVID-19 වසංගතයෙන් මතුවූ අධික බලපෑමට මුහුණදීමට කටයතු කළ අතර මෙම අති නවීනතම රෝහල නියමිත වේලාවට නිම කිරීමට හැකි විය. මෙම විශේෂිත රෝහල වර්ග මීටර් 25,000කට වඩා විශාලත්වයකින් යුක්තය.
සාමාන්‍ය නේවාසික රෝගීන් වෙනුවෙන් ඇඳන් 200 ක් සහ රුධිර කාන්දුපෙරන ඒකක 100 කින් යුක්ත වීම සියලු අමුත්තන්ගේ ප්‍රසාදයට ලක්ව ඇත. මෙම සුවිශේෂී අවස්ථාවේ දී , චීන රජය සහ ජනතාව වෙනුවෙන්, මෙම ඉතා වැදගත් ව්‍යාපෘතියට සහයෝගය හා දායකත්වය ලබා දුන් සියලුම චීන හා ශ්‍රී ලාංකික පුද්ගලයන්ට මාගේ උණුසුම් සුබ පැතුම් හා ඉහළම ස්තුතිය පිරිනමමි.
රෝහල විවෘත කිරීම ඉතා වැදගත් ය. පළමුවෙන්ම, එය පුරාණ පොලොන්නරුවේ නව සලකුණක් බවට පත් වේ. දෙවනුව, එය වකුගඩු රෝගීන් දහස් ගණනකට සහ ඔවුන්ගේ පවුල්වලට නව බලාපොරොත්තුවක් ගෙන එයි. තෙවනුව, දකුණු ආසියාවේ බිලියන 1.75 ක ජනගහණයකට එහි ප්රතිලාභ ලැබිය හැකිය.
තවද, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල, මහනුවර ජල තාක්ෂණ පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ හා නිරූපණ මධ්‍යස්ථානය වැනි බොහෝ චීන ආධාර ව්‍යාපෘති අතරට එක්වන වකුගඩු විශේෂිත ප්‍රතිකාර රෝහල චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ නව සංකේතයක් බවට පත් වෙමින් චීන සහ ශ්‍රී ලාංකික ජනතාව අතර ගැඹුරු මිත්‍රත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.
ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ විට චීනය කිසි විටෙකත් මගහැර නොගිය බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පසු ගත වූ වසර 64 දෙස ආපසු හැරී බලන විට, චීනය කුමන මට්ටමෙන් සංවර්ධනය වුවත්, කෙතරම් දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් හී විවිධ සැකසීම් සිදුවුවත් චීනය සැමවිටම ශ්‍රී ලංකාවට සමානාත්වයෙන්, අවංකත්වයෙන් සහ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව සලකා ඇත.
මේ දක්වා චීනය ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති 36 ක් ඇතුළුව ප්‍රධාන ව්‍යාපෘති 116 ක් ඉදිකර හෝ ඉදිකෙරෙමින් පවතින අතර ශ්‍රී ලාංකික වෘත්තිකයන් 8,000 කට ආසන්න පිරිසකට පුහුණු වැඩසටහන් ලබා දී ඇත. ඊට අමතරව, චීනයේ ප්‍රාදේශීය රජයන්, ව්‍යවසායන්, සමාජ සංවිධාන සහ චීනයේ පුද්ගලයින් ද ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය විවිධ ආකාරවලින් වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ හැකියාව තුළ සහයෝගය ලබා දී ඇත.
COVID-19 වසංගතය පැතිර ගිය දා සිට, චීන රජය විවිධ අවස්ථා වලදී ශ්‍රී ලංකාවට ඉතා ඉක්මණින් අවශ්‍ය උපකාර ලබා දී ඇති අතර, මිලියන ගණනක පුද්ගලික ආරක්ෂක උපකරණ, නියුක්ලෙයික් පරීක්ෂණ කට්ටල ලක්ෂයක් සහ මෑතකදී සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.1 ක් පරිත්‍යාග කර ඇත.
ඊට අමතරව, චීනයෙන් එන්නත් ලබා ගැනීම සහ දේශීයව එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට වීනය විශාල වශයෙන් ආධාර කරමින් සිටී. දෙරටේ ඒකාබද්ධ ප්රයත්නයත් සමඟ කොරොනා වෛරසය පරාජය කර නුදුරු කාලයේදී ම අවසන් ජයග්‍රහණය ලබනු ඇති බව මාගේ විශ්වාසයයි. වසංගතයට එරෙහි මෙම ඒකාබද්ධ සටනේදී චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් නව තලයකට ඔසවා තබනු ඇති අතර, චීන හා ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් නියත ප්රතිලාභ ලබා දෙනු ඇත.”