ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වලංගු ගුවන් ගමන් බලපත්‍රය වෙත වීසා නිදහස හිමි, යම් රටක දේශසීමාවට පැමිණීමෙන් පසුව වීසා අයැදුම් කිරීමේ හැකියාව පවතින සහ අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේ හැකියාව පවතින ලොව රාජ්‍යයන් සංඛ්‍යාව මේ වනවිට 46 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
ලාඕස ජනතා ප්රජාතන්ත්රවාදී ජනරජය විසින් වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයන්ට 2018 අගෝස්තු 01 වැනිදා සිට සිය දේශසීමාවට පැමිණීමෙන් පසුව (on Arrival) වීසා අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීමත් සමගින්ම එම රාජ්‍යයන් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත.
ලොව බොහෝ රාජ්‍යයන් සිය සංචාරක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙලෙස වීසා නිදහස හිමි අවස්ථාවන් ලබා දෙයි. එසේම එම රටට පැමිණීමෙන් අනතුරුව දින 30ක, දින 90 හෝ දින 180 කාලයක් තුළදී වීසා ලබා ගැනීමේ අවස්ථාවත් ලබා දී ඇත.
ලොව පුරා රාජ්‍යයන්හි වලංගු ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් දර්ශකය වන පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් දර්ශකයට (www.passportindex.org) අනුව 2018 වසර වනවිට ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය සතු පිළිගැනීමේ බලය අනෙකුත් ගමන් බලපත්‍ර හා සැසඳීමේදී 83 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව රාජ්‍යයන් 17ක් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය වෙත වීසා නිදහස හිමි කර දී ඇති අතර, රාජ්‍යයන් 29ක් එම රාජ්‍යය වෙත පැමිණි පසුව වීසා ලබා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.
මෙලෙස වීසා නිදහස හිමි රාජ්‍යයන් වන්නේ බහමාස්, බාර්බඩෝස්, ඩොමිනිකා රාජ්‍යය, ඉක්වදෝරය, ගැම්බියාව, ග්‍රෙනෙඩාව, හයිටිය, ඉන්දුනීසියාව, ලෙසතෝව, මයික්‍රොනීසියාව,ශාන්ත කිට්ස් සහ නෙවිස්, සෙනගාලය, සිංගප්පූරුව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩියන්ස් සහ වනාටුරාජ්යයන්ය. එසේම බොලිවියාව, කාම්බෝජය, කේප් වර්ඩේ, කොමොරොස්, ගිනිබිසවු, මැඩගස්කරය, මාලදිවයින, මයුරිටානියාව, මුරුසිය, මොසැම්බික්, නේපාලය, පාලාවු, රුවන්ඩාව, සැමෝආ, සෝමාලියාව, ටිමොර්ර් ලෙස්තේ, ටෝගෝ, ටුවාලු, උගන්ඩාව සහ ලාඕසය පැමිණි පසුව වීසා අයදුම් කිරීමේ අවස්ථාව ලබා දී ඇත.
මීට අමතරව අසර්බයිජානය, ඉන්දියාව, බොලිවියාව, කාම්බෝජය, ජිබොයුටි,ඉතියෝපියාව, ගැබොන්,ගිනි බිසව්,කෙන්යාව, මැලේසියාව, මියන්මාරය, කටාරය, රුවන්ඩාව සහ උගන්ඩාව අන්තර්ජාලය හරහා වීසා පහසුකම් ලබා දෙයි.
මෙම පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලොව රාජ්‍යයන් 153 ක් සඳහා සංචාරය කිරීමේදී වීසා ලබා ගැනීම අනිවාර්යය වී තිබේ.