විදුලිබල මණ්ඩලයේ අර්බුද සඳහා ප්‍රධාන හේතුව වී තිබෙනුයේ ආණ්ඩු විසින් ගනු ලබන තීරණ විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක නොකිරීම බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කළ යුතු බවත් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රටේ පවතින විදුලි අර්බුදය සහ බලශක්ති අර්බුදය පිළිබඳ අද(10දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,
මේ අර්බුදය මම දකින විදියට දීර්ඝ කාලීනව තිබෙන අර්බුදයක්. මේක හදීසි අර්බුදයක් ලෙස මම සලකන්නේ නැහැ. අපිට තිබෙන අලුත් අර්බුදය තමයි විශේෂයෙන්ම විදුලිය කප්පාදු කිරීම. ඒකට හේතුව බවට පත්වෙලා තිබෙන්නේ ලංකාව ඩොලර් හිඟය බවට පත්වෙලා තිබෙන අර්බුදය.
ඒ වගේම තෙල් නැතිවීම නිසා ජල විදුලියෙන් කෙරෙන ජනනය අඩු වීම නිසා මේ අර්බුදය තවත් උග්‍රවෙලා තිබෙනවා. අද මේ ඒකකයක මිල රුපියල් 30ක් පමණ වෙනවා මේ ජනනය කිරීමත් සමග. මේ ක්‍රියාවලිය හරියට පාඩු නොලබා මේ ක්‍රියාවලිය කරන්න නම් අනිවාර්යෙන් සියයට සියයක් විදුලි බිල වැඩි කරන්න ඕනී. මේ හැර විකල්පයක් අපිට බලාගන්න බෑ. ඒත් එහෙම ක්‍රියාත්මක කරන්න බෑ. මොකද අපි දන්නවා රටේ ජනතාව ලෙස තව තවත් විශාල දුක් ගින්දරකට මුහුණ දෙන්න සිදු වෙනවා.
මේ කාරණා සියල්ලටම ප්‍රධාන හේතුව ගත්ත වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක නොවීම. ඒ කියන්නේ ආණ්ඩු විදියට විවිධ තීන්දු තීරණ ගන්නවා, කැබිනට් පත්‍රිකා ගේනවා, යෝජනා ගේනවා. ඒත් විදුලිබල මණ්ඩලය තුල මෙය ක්‍රියාත්මක නොවීම විශාල අර්බුදයක්. 2015-2019 කාලයෙත් මම විශාල වශයෙන් තීන්දු තීරණ ගත්තා, කැබිනට් පත්‍රිකා දැම්මා, රටවල් සමග ගිවිසුම් අත්සන් කළා. ඒත් අවසානයේ මොකද වුනේ මේවා ක්‍රියාත්මක වෙනකොට මේකේ කාලය ඉක්මවෙලා අවසන්. මේවා සියල්ල අද හමස් පෙට්ටියට ගිහින් තිබෙන්නේ.
ඊයේ වන විට නැවත කැබිනට් පත්‍රිකාවක් දානවා හදීසි විදුලි මිලදී ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරලා. මේ ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක කරන්න නම් මොන වැඩේ කළත් හරියන්නේ නැහැ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කළේ නැත්නම්.
යනුවෙන් සඳහන් කළේය.