ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩි පුර ගෙවා ඇති බව පසුගිය 2වැනිදා නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.
අතිකාල දීමනා ගෙවීම විනිවිදභාවයෙන් තොරව සිදුකර ඇති අතර, අතිකාල පාලනය සම්බන්ධයෙන් ශ්රී ලංගම කළමනාකරණය තම වගකීම නිසි පරිදි ඉටුකර නොමැති බවද අප කළ විමසීමකදී ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
එහිදී ඇඟිලි සලකුණු යන්ත්ර විශාල ප්රමාණයක් ක්රියාවිරහිත වීමට ඉඩහැරීම අතිකාල පාලනයට ඍජුව බලපා ඇති බවද අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් විය යුතු අතර, ඒ අනුව 2023 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566කට වැඩි නොවිය යුතු වේ. එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3,074ක් බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.
එසේම මේ පිළිබඳ ශ්රී ලංගමයේ කළමනාකාරීත්ව විසින් විගණනයට සඳහන් කර ඇත්තේ, ප්රාථමික ගණයේ සේවක මහතුන්ගේ වැටුප් පරිවර්තනයත් සමග එම සේවකයන්ගේ අතිකාල රේටය රුපියල් 175ක් බවයි. අතිකාල රේටය දෙගුණයකින් වැඩිවීමත් 2022 වර්ෂය වනවිට එම ගණයේ සේවක මහතුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අනුමැතිය ලැබීම නිසා අතිකාල රේටය රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවයි.
චන්දන සමරවික්රම