ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනයේ දැනීමක් නොමැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයේ චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලනයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් එම ආයතනය මේ බව පවසා තිබේ.
වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්ෂණය කරන සහ කළමනාකරණය කරන චීන රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තුව වන්නේ චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනයයි.
රිලවුන් ලබාගැනීම වෙනුවෙන් ඉල්ලීමක් පිළිබඳව නොදන්නා බවත් කිසිදු පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් අයදුම්පත්‍රයක් හෝ යොමුකර නොමැති බවත් එම පරිපාලනය සඳහන් කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
චීනයේ පුද්ගලික සමාගමක් සත්වෝද්‍යාන තුළ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් රිලවුන් ලබාගැනීම වෙනුවෙන් දළ යෝජනාවක් පමණක් ඉදිරිපත් කර ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.
එහිදී රිලවුන් 100000ක් ඉල්ලා ඇති බවට වාර්තා වන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොන්ත්‍රාත් පාර්ශ්වයක් ලෙස චීනය දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බව තානාපති කාර්යාලය අවධාරණය කරයි.
චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරන බවත් එමඟින් වනජීවී ආරක්ෂණ නීති සම්පාදනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ලෝකයේ ඉහළම රටක් බවට පත්ව ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ රිලවුන් “100,000” “පර්යේෂණාත්මක අරමුණක්” සඳහා චීන පෞද්ගලික සමාගමකට අපනයනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය තුළ වාර්තා විය.කෙසේ වෙතත් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් චීන රජය හෝ ලක් රජය අතර කිසිම සාකච්ඡාවක් සිදුව නොමැති බවයි.