සිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ලංකාවේ මාධ්‍ය ආයතන සිදුකරන ඇතැම් වාර්තා නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ද නොපැමිණෙන බවද, එක්තරා ජාතික පුවත්පතක් දත්ත මත පදනම් නොවී ළමා ශ්‍රමය සම්බන්ධයෙන් වාර්තාකිරීම් සිදුකර තිබෙන බවද ඔහු සදහන් කළේය.
ළමා ශ්රමයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම වෙනුවෙන් නෙළුව මණ්ඩලපුර ප්‍රාථමික විද්‍යාලයේදී පැවති උත්සවයක අද (15) දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
"ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවදානම් තත්වයක් තිබෙනවා කියලා පුවත්පතක් වාර්තා කරලා තිබුණා. මේක ගැන සොයා බැලුවම ලංකාවේ එවැනි තත්වයක් නැහැ. නමුත් ලෝකයේම එවැනි ප්රවනතාවයක් තිබෙනවා. නමුත් දත්ත මත පදන් නොවී ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා කියලා කියන්න බෑ.
ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවසන් වරට සමීක්ෂණයක් කරලා තියෙන්නේ 2016දී. ඒ දත්ත අනුව අපේ රටේ ළමා ශ්‍රමය භාවිතා කිරීමේ චෝදනාව තියෙන්නේ සියයට 0.9යි. ඒත් ලෝකයේ ලොකුම රටවල්, ලෝකයේ ලොකුම පොලිස්කාරයා වුන රටෙත් ළමා ශ්‍රමිකයින් මිලියන 20ක් ඉන්නවා.
අපේ රටේ ගමක ඩෙංගු හැදුනොත් ඒක ලොකු ප්‍රවෘත්තියක් කරලා දාලා, ජාත්‍යන්තර මාධ්‍යවලත් පළ කරලා ලංකාවට එන සංචාරකයාත් නැති කරන්න තමයි හදන්නේ. කොහේ හරි හංදියක තුන් හතර දෙනෙක් උද්ඝෝෂණයක් කළාම ඒක වීඩියෝ කරලා ජාත්‍යන්තරව පෙන්නලා අපේ රට විනාශ කරනවා.
දැන් සිංගප්පූරුවේ පහුගිය දවස්වල හොදටම රෝග උත්සන්න වෙලා තිබුණා. හැබැයි ඒවා මාධ්‍ය මගින් වාර්තා කරන්නේ නෑ. රටේ සුබසාධනය වෙනුවෙන් තමයි ඒ රටවල මාධ්‍ය කටයුතු කරන්නේ. ස්වයං වාරණයක් ඇතිව තමයි කටයුතු කරන්නේ.
තවමත් ඇමරිකාව, එංගලන්තය ලංකාවේ සංචාරය කරන්න එපා කියා දාලා තියෙන සංචාරක තහනම් ඉවත් කරලා නෑ. ඒවායේ තියෙන්නේ තෙල් නැතිවේවි. පාරේ තැන් තැන්වල ගැටුම් ඇතිවේවි කියලා තමයි තියෙන්නේ. මේවා හැදුවේ කවුද. මාධ්‍ය තමයි මේවා හැදුවේ. මාධ්‍ය වගකීමෙන් කටයුතු නොකිරීම අපේ රටට ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී අවධානය යොමුවුනා. දෙසැම්බර් මාසයෙන් පස්සේ රටේ කන්න නැතිවේවි කියලා සමහර විශේෂඥවරියන් මාධ්‍යයට ඇවිත් කිව්වා. ඒත් ඒ තත්යවය කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුණා.
අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කරන්න ඕන. එහෙම විවෘතව හිතන්න බැරි නිසා තමයි කැළණි ගගෙන් ධාතු මතුවුනා කියලා කිව්වම පිළිගන්නේ. විවෘතව හිතන්න අපේ අධ්‍යාපන ක්‍රමය පුරුදු කරන්නේ නෑ."
