ලංකාවේ බලශක්ති ගැටලුව විසදාගැනීමට රුසියාවේ පූර්ණ සහාය
ගෝලීය ආර්ථිකයට බලපෑම් ඇති කරමින් ආරම්භ වූ ඇමරිකානු - ඊශ්‍රායල - ඉරාන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට උද්ගත වී ඇති බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ පූර්ණ සහය ලබාදෙන බව රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
රුසියාවේ මොස්කව් නුවර පිහිටි එරට ඛණිජ තෙල් අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාවේ දී බලශක්ති අර්බුදය, දෙරටේ දිගුකාලීන මිතුදම, ආනයන - අපනයන ක්‍රියාවලිය සහ මැදපෙරදිග යුධ වාතාවරණය පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය.
මැද පෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුමට අදාලව පැන නැගී ඇති ගැටළු නිරාකරණයට සිය රටේ උපරිම සහය ලබාදෙන බව පැවසූ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහාත් ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති හිඟතාවන් පියවීම සඳහාත් සිය රටේ සහය නොඅඩුව ලබාදෙන බවත් අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකල හැකි බවත් පැවසීය. අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සමග ගිවිසුම්ගතව ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පහසුකම් සපයන බවද පැවසීය. මීට අදාල ගෙවීම් කටයුතු දෙපාර්ශයේම එකඟතාවයකින් යුතුව සිදු කරන්නේ කෙසේද යන්නත් සාකච්ඡා කෙරුණා.
එමෙන් ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සඳහා භාවිත කරන ගල් අඟුරු සැපයීමට සිට රට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත යතාර්ථයක් වනු දැකීම සිය රටේ කැමැත්ත බවත් ශ්‍රී ලාංකික ජනතාවගේ බහුතර කැමැත්තෙන් බලයට පැමිණි වත්මන් රජය ගෙනයන තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු රාජ්‍යයේ අඛණ්ඩ සහය ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ විය. එමෙන් ම ශ්‍රී ලංකාව තුල අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාවට ලබාදීමටත් අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා කරනු ලබන සහායන් අඛණ්ඩව ලබාදෙන බවටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
