විශාල අර්බුදයක් වළක්වා ගැනීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කර ඇති දිරිගන්වනසුලු කාර්යය ගැන ප්‍රසාදය පළකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා පැවැසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ශික සැසියට එක්වීම සඳහා දකුණු කොරියාවේ සෝල් නුවරට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (02දා) මසට්සුගු අසකාවා මහතා හමුවූ අවස්ථාවේදි මේ බව ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාලපරිච්ඡේදයක දී ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දුන් විශිෂ්ට හවුල්කාරිත්වය සහ සහයෝගීතාවය සහ රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවේ කෘතඥතාව ආසියානු සංවර්ධන බැංකුව වෙත පළ කළේය.
ඩිජිටල්කරණය, කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය යන ක්ෂේත්රයන්හි ADB වෙතින් තාක්ෂණික සහාය සහ මූල්‍ය ආධාර තවදුරටත් අවශ්‍ය බව අලි සබ්රි මහතා මෙහිදී සදහන් කළේය.
විවිධ ක්ෂේත්රයන්හි නව ජවයකින් යුතුව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මෙහිදී පෙරොන්දු වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
