ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ මැලේසියානු ජාතිකයෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්, පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබේ.
මොහු 33 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි. ඔහු ඉකුත් 09/10 දින අබුඩාබි හී දී හමු වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකුට තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත සිය ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ලබා දී තිබේ.
ශ්‍රී ලාංකික තරුණයා එම ලියකියවිලි උපයෝගී කර ගනිමින් එදිනම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. පසුව මෙම මැලේසියානු ජාතිකයා ශ්‍රී ලාංකික තරුණයාගෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබේ.
ඉන්පසුව මොහු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ මැලේසියානු තානාපති කාර්යාලය වෙත ගොස් තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ බව පවසා අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණෙන් 09/19 දින පස්වරු 04.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී මෙරටට ඇතුළු වීම සදහා අවශ්‍ය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමට යාමේදී ඔහුට භාෂා උච්චාරණයේ ඇති වූ ගැටළුකාරී තත්වය මත මෙම කරුණු සියල්ල අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම මැලේසියානු ජාතිකයා අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පසුව ඔහු පැමිණි කටාර් ගුවන් සේවා යානයෙන්ම ආපසු දෝහා වෙත රැගෙන යාම සදහා එම ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දී තිබේ.
