මෙරට ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් 07දෙනාගෙන් මිලියන 22ක් වන ජනතාවගෙන් සෑම කෙනෙකුටම රුපියල් 150,000 බැගින් අය කර ගැනීමට හැකියාව තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අදාළ නඩු තීන්දුව පිළිබඳ අද (14දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් වැදගත් තීන්දුවක් දීලා තියෙනවා. රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර විනිසුරුවන් තීරණය කළේය.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඬුල්ල මේ බව දැනුම් දුන්නා. අපි මුල ඉඳන්ම කිව්වේ මේක. අපි අවුරුදු තුනක් කතා කළත් කවුරුත් මේක පිළිගත්තේ නෑ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට, පෙත්සම්කරුවන්ට හිස නමනවා.
මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ ඉන්නවා මිලියන 22ක් ජනතාව. ඒ සෑම කෙනෙක්ටම පුළුවන් අධිකරණයට ගිහින් මේ පුද්ගලයන් 07 දෙනාගෙන් රුපියල් 150,000ක් අය කර ගන්න. මොකද මේ පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ගානේ ගෙවන්න තීන්දු කරලා තියෙනවා."