නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස යොදා ගත් රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් ( ණය පත් ) ( Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක සමග 01/12 දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ද දැනුම් දුන්නේය.
විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පළමු අවස්ථාව මෙය බැව් රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීවරයෙකු පැවසීය.
කැරට් 24 රත්තරන් වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද පළ කර ඇත්තේ මේ ආකාරයට නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීමටය.
මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙන කාන්තාවකි.
ඇය 01/12 දින අලුයම 01.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඇය මුලින්ම ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ , එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමටය.
ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04 වරක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ කිලෝ ග්රැම් 06 යි ග්රැම් 500 ක් බරැති මේ ආකාරයට කැරට් 24 රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් 27 ක් ද , මාළ , වළලු සහ මුදු තොගයක් ද සගවා ගෙන තිබූ බව රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පැවසූහ .
ඒවායේ වටිනාකම රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් බව රේගු නිලධාරීන් පැවසූහ .
මීට අමතරව මෙම ගමන් මල්ලේ කළු පැහැති සෙලෝ ටේප් වලින් ඔතන ලද කිලෝ ග්රැම් 02 ග්රැම් 200 ක් බරැති රත්තරන් ජෙල් (Gold Gel ) තොගයක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත .
මෙම අත් අඩංගුවට ගැනීම සදහා ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් වෙත තොරතුරු සපයා දී තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ රේගු අධ්යක්ෂ ඩී.බී.එන්.සමරතුංග මහතාගේ උපදෙස් මත එම අංශයේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ නලීන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ රේගු අධිකාරී මාලක විජේසේකර , ස්ථාන භාර නිලධාරී අරුණ ශාන්ත අමරසිංහ , සහකාර රේගු අධිකාරීවරුන් වන ගයාන් රංග කුමාර , අමිල රත්නායක , රුචිර ජීවානන්ද , දක්ෂිත අලහකෝන් , ගයාන් රාජරත්න , දිල්රුක්ෂි ගුණතිලක ,රේගු පරීක්ෂක නිමේෂ් අධිකාරී , රේගු නියාමකවරුන් වන විෂාන් කාවින්ද සහ මලිත් සමරකෝන් යන මහත්ම මහත්මීන් විසින් සිදු කරති.

