ඔලිව් වගාව මෙරටට හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ ඔලිව් වගාවට සුදුසු දේශගුණයක් සහිත ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ පවතින බවත්, ඒ අනුව ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරය ඉතාලියේ රෝමය නගරයේදී මේ දිනවල පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගිව සිටී. ඒ අනුව මෙරට තුළ ඔලිව් වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙසද ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සිදු කරන ලද සාකච්ඡාවකදී අමාත්‍ය අමරවීර මහතා ඉල්ලා තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ පාංශු ව්‍යුහයට ගැළපෙන මිදි ප්‍රභේදයක් හඳුන්වා දීම, පශු සම්පත් අභිජනන ක්‍රම වැඩි දියුණු කිරීම, පර්යේෂණ විශේෂඥ හුවමාරුව, ඉතාලියේ ගවයින් ශ්‍රී ලංකාව හා හුවමාරු කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම , ආහාර නිෂ්පාදන අංශය තුළ තිරසාර සංවර්ධනය සහ ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික ශ්‍රම බලකායේ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම යනාදී කරුණු පිළිබඳ එහිදී වැඩිදුරටත් අදහස් හුවමාරුවී ඇත.