ශ්‍රී ලංකාව තව දුරටත් ආර්ථිකමය වශයෙන් කඩා වැටෙමින් පවතින අතර එහි ගැඹුර සහ හානිය අවම කිරීමේ උත්සහයක රජය නිරත වෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක රට හැරයාම වෙනුවට එක්ව රට ගොඩනැංවීමට කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම වගකීම බවයි.
දුර්වලතා හඳුනා ගැනීම සහ යළි ශක්තිමත්වීම තුළ ශ්‍රී ලංකාවට යළි ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේ පැවැති සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට අද (11) එක්වෙමින් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ ය.
‘ශ්‍රී ලංකාවත් ආර්ථිකමය වශයෙන් වැටෙමින් පවතිනවා. අපි උත්සහ කරමින් ඉන්නෙ ඒ වැටෙන ගැඹුර අවම කිරීමට සහ සිදු විය හැකි හානිය අවම කිරීමටයි. රට පවතින්නෙ ඍණ ආර්ථික වර්ධන වේගයක. ආහාර උද්ධමනය 99%ක්. මෙවැනි තත්ත්වයක් තුළ තරුණයන් විදියට රට හැර යමු කියන දේ නෙවෙයි අපි කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ එකතු වෙලා ගොඩනගමු කියලයි.
මීට පෙර 2009 වසරේ දීත් අපි මෙවැනි ම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. යුද්ධයක් එක පැත්තකින් කරන ගමන් ලෝක දැවැන්ත ආර්ථික අර්බුදයක ප්‍රතිඵලවලට අපි මුහුණ දුන්නා.’ යැයි අමාත්‍යවරයා පැවැසීය.
ඊයේ පැවැති කැබිනට් හමුවේ දී ශ්‍රී ලංකාව අඩු ආදායම් ලාභී රටක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට අනුමැතිය හිමිවීම පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.
‘ශ්‍රී ලංකාව නිල වශවෙන් අඩු ආදායම්ලාභී රටක් ලෙස පිළිගැනීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. මීට පෙර අප සිටියේ මැදි ආදායම් ලාභී රටක් විදියටයි. අපි දන්නවා ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ඉක්මවා යමින් එම මට්ටමට ළගා වීමට හැකි වීම සාඩම්බරයට කරුණක්. නමුත් ආර්ථිකමය වශයෙන් එහි යම් අවාසියක් තියෙනවා.
අපි වෙනත් රටවලින් ණය ඉල්ලා සිටීමේ දී අපට ඒවා ලැබෙන්නෙ වාණිජ පදනමින්. මැදි ආදායම් ලාභී රටක් විදියට ඉන්නකොට අනේ කියල ණය ඉල්ලන්න අපට බෑ. මේ තත්ත්වය හමුවේ ලෝක බැංකුව කළ යෝජනාත් පිළිගනිමින් ශ්‍රී ලංකාව නැවත ශ්‍රේණිගත වුණා.’