ලංකා ඇපල්වලට මිළක් නැති වෙලා
ශ්රී ලංකන් ඇපල් ලෙස ප්රකට මෙරට පෙයාර්ස් පලතුර අළෙවි කර ගැනීම සඳහා නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව ඇතැයි රාගල පෙයාර්ස් ගොවීහූ පවසති.
පෙයාර්ස් අස්වැන්න මිලදී ගැනීමට පසුගිය වසරවල මෙන් මෙම වසරේ වෙළෙන්දන් වගා බිම්වලට නොපැමිණෙන බවත්, පැමිණෙන ඇතැම් වෙළෙන්දන් තම අස්වැන්න තුට්ටු දෙකට ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව ඔවුහු කියති.
නුවරඑළිය දිස්ත්රික්කයේ රාගල, මන්ත්රීතැන්න, බිංගන්තලාව, ගෝනපිටිය, පලල්පතන, රත්නායක පතන, ගෝනකැලේ, සෙන්ජෝන් ආදී ප්රදේශවල පෙයාර්ස් වගා විශාල ලෙස සිදු කරමින් පවතින බවත්, එම ප්රදේශවල බහුලව රහන්ගල හා රහන්ගල ග්රීන් යන පෙයාර්ස් ප්රභේද දෙක වගා කොට ඇති බව ගොවීහූ සඳහන් කරති.
පෙයාර්ස් අස්වැන්න නෙළීමේ කටයුතු මේ දිනවල සිදු වුවද පසුගිය වසරට වඩා මෙවර අස්වැන්න සියයට පනහකින් පමණ පහත බැස ඇති බවත්, රජයේ වගකිවයුතු අංශ අඩු අවධානයක් දැක්වීම, අළෙවි කර ගැනීමට නිසි වෙළෙඳපොළක් හා වසරකට වරක් අස්වැන්න ලැබෙන භෝගයක් වීම හේතුවෙන් ඊට නව වගාකරුවන් එකතු නොවීම මත පෙයාර්ස් පලතුර මෙරටින් වඳවීයාමේ දැඩි අවදානමකට පත්ව ඇතැයි ඔවුහු කියති.
ඉතා දුක් මහන්සියෙන් වසරක් පුරා පෙයාර්ස් ගස් නඩත්තු කොට ඒවායේ ලැබෙන අස්වැන්න මෙලෙස අඩු වීමත්, ඒවා නිසි මිලකට අළෙවි කර ගැනීමට නොහැකිවීමත් හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇතැයි ගොවීහූ සඳහන් කරයි
මතුරට, කැටයාපතන ජනපදයේ පදිංචි කේ. එම්. පී. අබේරත්න මහතා වසර ගණනාවක සිට පෙයාර්ස් වගාවේ නිරතව සිටින අයෙකි. පෙයාර්ස් වගාව සම්බන්ධයෙන් ඔහු මෙසේ කීය.
“මම පෙයාර්ස් වගාව සිදු කරගෙන යන්නේ මගේ උත්සාහයෙන්. ගිය වසරට වඩා මේ වසරේ පෙයාර්ස් අස්වැන්න සියයට පනහකින් පමණ අඩු වෙලයි තියෙන්නේ. පෙයාර්ස් ගස්වල මල් හට ගන්න කාලයේ පැවැති අධික සුළං තත්ත්වය ඊට බලපෑවා. පසුගිය වසරට වඩා මෙම වසරේ පෙයාර්ස්වලට ඉල්ලුම ඉතාමත් අඩු මට්ටමකයි පවතින්නේ. අස්වැන්න අඩු උනත් වෙළෙන්දන් ගොවි බිම්වලට මිලදී ගන්න එන්නේ නැහැ. අතරින් පතර එන වෙළෙන්දෝ අපේ අස්වැන්න තුට්ටු දෙකට තමයි ඉල්ලන්නේ. දුක් මහන්සියෙන් නඩත්තු කරලා, අවුරුද්දක් බලන් ඉඳලා එහෙම දෙනවාට වඩා හොදයි දුප්පත් මිනිසුන්ට බෙදලා දෙන එක. මම පසුගිය දිනවල පෙයාර්ස් අස්වැන්න නුවර වගේ දුර පළාත්වල නගරවලට අරන් ගිහින් කිලෝවක් රුපියල් 850ට තමයි දුන්නේ. ප්රවාහන වියදමත් එක්ක ඒක පාඩුයි. අපෙන් එහෙම ගන්න පෙයාර්ස් වෙළෙඳසැල්වල අළෙවි කරන්නේ කිලෝවක් රුපියල් 1600ත් 2000ත් වැනි ඉහළ මිලකට.”
“පෙයාර්ස් ගොවියන්ට තිබෙන එකම ගැටලුව තමයි අස්වැන්න විකුණා ගැනීමට සුදුසු වෙළෙඳපොළක් නොමැතිවීම. මෙවර අස්වැන්න අඩු උනත් තිබෙන අස්වැන්නට පවා නිසි මිලක් ලැබෙන්නේ නැහැ. පිටරටින් ගෙනත් තියෙන ඇපල්, දොඩම්, පෙයාර්ස් වගේ වර්ගවලට විතරයි රටේ තැනක් දීලා තියෙන්නේ. අඩුම තරමේ මෙරට පෙයාර්ස් වගාවේ අස්වැන්න ලැබෙන ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාස කීපයේ හෝ පිටරටින් ගෙනෙන පෙයාර්ස් සීමා කරන්න රජය කටයුතු කළහොත් ඒක මෙරට පෙයාර්ස් ගොවියාට අස්වැසිල්ලක් වේවි.”
පෙයාර්ස් අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට ස්ථිර වෙළෙඳපොළක් සැකසීමට මෙන්ම රජය විසින් අනෙකුත් වගාවන් සඳහා ලබා දෙන සහනාධාර පෙයාර්ස් වගාව සඳහා ද ලබාදීමට රජයේ අවධානයට යොමු කරන ලෙසත්, එසේ නොවුන හොත් තවත් කීපයක දී පෙයාර්ස් වගාව සදහටම මෙරටින් අවසන් වනු ඇතැයි රාගල පෙයාර්ස් ගොවීහූ වැඩිදුරටත් පවසති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

