රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද (07) එකගතාවය පළ කළේය.
ශ්‍රී ලංකාවට ආනයනය කිරීමෙන් අනතුරුව රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන්කීල්ස් සමාගම ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එසේ එකගතාවය පළ කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.ජෝන්කීල්ස් සමාගම ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.
ජෝන්කීල්ස් සමාගම සිය සුපිරි වෙළඳ සැල් වල භාවිතය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන බී.වයි.ඩී වර්ගයේ වාහන 991ක් ශ්‍රී ලංකාවට ආනයනය කළ බවත් වාහනයේ ධාරීතාවය සහ රේගු බදු සම්බන්ධයෙන් ඇතිවු ගැට`ථ මත අදාළ වාහන මුදා හැරීම රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ප්රතික්ෂෙප කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර ජෝන්කීල්ස් සමාගම රේගුව භාරයේ රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.
පෙත්සම කැඳවු අවස්ථාවේදී රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් මේ වන විට රේගුව බාරයේ රඳවාගෙන ඇති අදාළ වාහන 991 කොන්දේසි කිහිපයක් යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාව ඇතැයි කීය.
ඒ අනුව අදාළ වාහනවල බදු පරතරය ලෙස ගණනය කර ඇති රුපියල් 3,552,909,200/-ක (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම විසින් තැන්පත් කළ යුතු බවත් එම ඇපකරය සඳහා අදාළ වන පොලිය ගෙවීමට පෙත්සම්කාර සමාගම එකඟ විය යුතු බවත් කී ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අදාළ වාහන සම්බන්ධයෙන් රේගුව විසින් කරන පරීක්ෂණ වලට පෙත්සම්කාර සමාගම සහාය විය යුතු බවත් කොන්දේසි අතර වන බවත් පැවසීය.
එම කොන්දේසි වලට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුලත් කමිටුවක් පත් කිරීමේ කොන්දේසියක්ද ඇතුළත් බව දැනුම් දුන් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමටද අවශ්‍ය බව දැනුම් දුන්නේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය කරුණු දක්වමින් වගඋත්තරකාර රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ඉදිරිපත් කරන එම කොන්දේසි අතුරින් බොහොමයකට පෙත්සම්කාර සමාගම එකඟ බව දැනුම් දුන්නාය”
පෙත්සම්කාර සමාගම අදාළ එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව රේගුව භාරයේ රඳවාගෙන සිටින අදාළ බී.වයි.ඩී වාහන 991 මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා එකඟතාවය පළ කළේය.
පෙත්සම්කාර සමාගම බැංකු ඇපකරය අද දිනයේදී තැන්පත් කරන්නේ නම් ලබන සෙනසුරාදා වන විට අදාල වාහන මුදා හැරීමට හැකියාව ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා දැනුම් දුන්නේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය කරුණු දක්වමින් අදාළ බැංකු ඇපකරය අද දිනය තුළදීම තැන්පත් කිරීමට අවශය පියවර ගන්නා බව දැනුම් දුන්නාය.කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා යළි කැඳවීමට නියෝගය කළේය.