රුහුණේ තාරුකා ඩෙංගු මාරයට බිලි
ඩෙංගු රක්තාපාත උණ වැළඳීමෙන් සිරුරේ විෂබීජ එකතුවී බහු අවයව අකර්මණ්‍ය වීම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සිසුවියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය, කළුගලහේන, තැන්පිට පාර, “ශාන්ති” යන ලිපිනයේ පදිංචිව සිටි හික්කඩුව විතානගේ සඳලි තාරුකා නැමැති ශිෂ්‍යාවකි.
විශ්වවිද්‍යාලය අසල බෝඩිමක නැවතී අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි ඇය, එම බෝඩිමේ පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබියදීත්, තමාට විභාගය පැවැත්වෙන බැවින් නිවසට පැමිණීමට මැලිකමක් දක්වා තිබේ. පසුව පසුගිය 16 වනදා ඇයට උණ වැළඳීමත් සමඟ ඇයගේ පියා වහාම බෝඩිමට පැමිණ එදිනම ඇයව දෙනියායේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත. ඊට පසුදින එනම් 17 වනදා ඇයව දෙනියාය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ මවද එම රෝහලේම සේවය කරන හෙදියක වන බැවින් දියණිය අසල නැවතී සාත්තු සප්පායම් කර තිබේ.
රෝහලේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ මඟින් ඇයට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය බව අනාවරණය වූ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 22 වනදා රාත්‍රියේ ඇයව ගාල්ල ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 23 වනදා සවස ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය සිසුවියගේ මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේදී රෝහලේ හදිසි මරණ පරීක්ෂක එන්. ඩී. බී. කරුණාතිලක මහතා විසින් සිදු කරන ලදී. එහිදී රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චතුරිකා ප්‍රේමරත්න මහත්මිය ලබා දුන් වෛද්‍ය වාර්තාවට අනුව, මෙම මරණය ඩෙංගු රක්තාපාත උණ තත්ත්වය උත්සන්න වීමෙන් සිරුරේ විෂබීජ එකතුවී බහු අවයව අකර්මණ්‍ය වීමෙන් සිදු වූවක් බවට මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
