රැසියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවල හා සත්ව ගොවිපලවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සිය සේවා ස්ථානවල ගැටළු රැසක් පවතින බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබෙන බවත් ඔවුන්ගේ ගැටළු පිළිබදව සොයා බැලීම හා නව රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට උදාකර ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටින බවත් එම කාර්යාංශය කියයි.
රුසියාවේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට තමන්ට හිමි වැටුපෙන් කොටසක් බදු වශයෙන් අයකිරීම හා විධිමත් අයුරින් මුදල් දිවයිනට ප්‍රේෂණය කිරීමට නොහැකිවීම ඇතුළු නොයෙකුත් ගැටළු උද්ගත වී තිබේ.
මේ පිළිබඳව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු අනාවරණය වීමෙන් පසු ස්වයං මාර්ගයෙන් රුසියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරිම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලදී. වැඩිදුරටත් අදාල ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමට හා ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදුකරන ආයතනවල කළමනාකරුවන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ ගැටළු සඳහා විසදුම් ලබාදීම මෙම නියෝජිත පිරිසගේ සංචාරයේ අරමුණයි.