කටුනායක ගුවන්තොටුපොළ සිට රුසියාවේ මොස්කව් බලා ඊයේ (02දා) දහවල් 12.50 ට පිටත්වීමට නියමිතව තිබූ එස්. යූ. 289 දරන රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටුනායක ගුවන්තොටුපොළේ රඳවාගෙන තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුවන් යානයේ සිටි මගීන් ගුවන් තොටුපොළ අසල සංචාරක හෝටල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ බලධාරින් විසින් කටයුතු කර තිබේ.
කොළඹ වානිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගය ලැබී තිබේ .
මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .