රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඊයේ දින (2023.12.13) අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචි කාර්යාංශ නිළධාරියෙකු විසින් මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රවටා, රුමේනියාවේ රැකියාවක් ලබාදීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන තිබේ. මුදල් ලබා දුන්නද, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් එම කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාළ නිළධාරියා විමර්ශන අංශය වෙත කැඳවූ අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් අයකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරිර ඇප 2ක් හා රු.10,000.00 ක මුදල් ඇපයක් මත නිදහස් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
විදේශ රැකියා ජාවාරම්කරුවන්ට තරාතරම නොබලා දඩුවම් ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව මේ වන විට වංචනික විදේශ රැකියා ආයතන වැටලීම් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පුළුල් කිරිමට කාර්යාංශය කටයුතු කර තිබේ.