ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රු. කෝටි 07 ක් පමණ වටිනා විදේශයන්හි නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (25දා) සවස අත් අඩංගුවට ගෙන තිබේ.
නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට කොළඹ හා පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාජ ලිපින වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් 09 මීට මාසයකට පමණ පෙරඑවා තිබිණ .ඒවා භාර ගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයකු නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ (25දා) සවස එම පෞද්ගලික කූරියර් ආයතනයේ දී , පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කෙරිණ .
එහිදී ඒවා තුළ " මැජික් මස් රූම් " ග්‍රෑම් 297 ක් , මෙතැම්පටමයින් නොහොත් එක්ස්ටසී පෙති 2,000 ක් , චොක්ලට් ආකාරයට සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් , ඇමෙරිකානු " කුෂ් " නැමැති ගංජා තොගයක් සහ එම ගංජා ඇට අඩංගු පාර්සල් කීපයක් ද වූ අතර සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 ක් පමණ විය .
මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත යොමු කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ .
