රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි බෝත්ල් 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්රයේ අතහැර දමා ගොස් තිබියදී 06/13 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම විස්කි සහ කරදමුංගු තොගය කුමන ගුවන් යානයක පැමිණි කුමන ගුවන් මගියෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන්නට ඇත්දැයි සොයා රේගු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
මෙහිදී මෙම විස්කි සහ කරදමුංගු තොගය දමා ගොස් තිබූ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , සාප්පු වල සේවකයින්ගෙන් ප්රශ්ණ කරමින් සහ ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් මේවායේ හිමිකරුවන් අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් ප්රයත්න දරමින් සිටිති .


