කටුනායක, සීදුව, මීගමුව, නුවරඑළිය සහ ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 100 දෙනෙකුගෙන් පමණ ඉතාලියට රැකියා සඳහා යවන බව පවසා රුපියල් කෝටියක පමණ මුදලක් ඔවුන්ගෙන් වංචනිකව ලබා ගෙන සිටි ව්‍යාජ රැකියා නියෝජිතවරයෙකු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/04 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු පිළිබඳ කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලිකව ලැබී තිබුණ බුද්ධි තොරතුරු කීපයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මොහු කහතුඩුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී වාහන පාවිච්චියට ගනිමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි බව කටුනායක පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මොහු මීට ටික කළකට මෙවැනිම ආකාරයට රැකියා සදහා විදේශ ගත කරන බව පවසා පුද්ගලයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීම පිළිබඳ වැරදි කරු වී වසර හතරහමාරක කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිට පැමිණ තිබුණි .
මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබූ අන් සන්තක ගමන් බලපත්‍ර 06 ක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් කටුනායක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු අද (05දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .