රුපියල් හය කෝටි දහ අට ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් 07/14 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 63 හැවිරිදි වියේ පසුවන පිලිපීන ජාතික කාන්තාවකි. ඇය 07/14 දින අලුයම 12.15 ට හොංකොං නුවර සිට , කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , පැකැට් 05 ක් ලෙස අසුරා සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 180 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබුණි .
මෙම ගුවන් මගී කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , 07/14 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රදවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය .
