සතුන් මිලදී ගැනීමේදී නිවැරදි ඇස්තමේන්තු පිළියෙල කිරීම අත්‍යවශ්‍යයි - ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේදී අවධාරණය කෙරේ
ඇස්තමේන්තුගත මුදල සහ මිලදී ගත් මුදල අතර වෙනස 3000% ක පමණ ප්‍රමාණයක් තිබීම ගැටලු සහගතයි
රිදීයගම සෆාරි උද්‍යානය සහ පින්නවල වාගොල්ල නව සත්වෝද්‍යානය තවමත් ඇතුළත් නොවන නිසා පනත කඩිනමින් සංශෝධනය කිරීමටත් උපදෙස්
2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ අනුව ඇස්තමේන්තු ගත මුදලට වඩා මිලදී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළි විය.
මෙම ප්‍රසම්පාදනයේදී සැපයුම්කරු විසින් පක්ෂීන් වර්ග 32 ක්ම සැපයිය යුතුය යන කොන්දේසිය හේතුවෙන් වැඩි මිල ගණන් යටතේ පක්ෂීන් මිලදී ගැනීමට සිදුවීම නිසා රු. මිලියන 17කට ආසන්න අලාභයක් සිදුවීම පිළිබදව කමිටුවේ අවධානය යොමු විය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබද විමර්ශනය සදහා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) 2023.07.05 දින රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත වියදම සහ සැබෑ වියදම අතර මෙතරම් විශාල ප්‍රමාණයක වෙනසක් තිබීම ගැටලු සහගත බව කමිටුව අවධාරණය කරන ලදී. අදාළ විෂය සහ වෙළදපොළ සම්බන්ධ අවබෝධය මෙම දෙපාර්තමේන්තුව සතු බැවින් තක්සේරු මුදල සහ සැබෑ වියදම අතර මෙතරම් ඉහළ අගයක් පැවතීම පිළිබදව කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී. එබැවින් මේ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙසත් නිවැරදි තක්සේරුකරණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරියේදී අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් කෝපා සභාපතිවරයා අවධාරණය කළේය.
අලුතින් එක්වූ සත්වෝද්‍යාන ඇතුළු කරුණු පනතට කඩිනමින් ඇතුළත් විය යුතු බැවින් පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමෙන් ඉදිරි මාසයක් ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙසත් මේ පිළිබඳ වාර්තාවක් 2023 අගෝස්තු 5ට පෙර ලබා දෙන ලෙසත් කෝපා සභාපතිවරයා උපදෙස් දුන්නේය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අදායම නිසි පරිදි වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙන ලදී. මේ අනුව ටිකට්පත්වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ලැබෙන ආදායම් වෙන් වෙන්ව ඉදිරිපත්කරන ලෙස විගණකාධිපතිවරයා උපදෙස් දුන්නේය.
දැනට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති බව නිරීක්ෂණය වන බැවින් වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය. IUCN රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. ඒ අනුව මේ සම්බන්ධව පුළුල් ජාතික සමීක්ෂණයක් සිදු කළ යුතු බව අවධාරණය කෙරිණි.