කැබිතිගොල්ලෑව පදවිය ප්රධාන මාර්ගයේ මහනැටියාව ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සියඹලාගස්වැව, තිත්තගෝනෑව පදිංචි ලහිරු නිශාන් කුමාර( 28) සහ අනුරුද්ධ සිසිර කුමාර (26) යන එකම පවුලේ සහෝදරයන් වන අවිවාහක තරුණයන් දෙදෙනකු බව පොලීසිය සඳහන් කළේය.
ලොරි රථයේ රියදුරුහට එම රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර, අනතුරින් ලොරි රථයේ පිටු පස ගමන් කළ එම සහෝදරයන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලැබුණු සහනාධාර මුදලකින් තම නිවස ඉදි කිරීම සඳහා ගඩොල් තොගයක් රැගෙන එමින් සිටියදී මෙම තරුණයන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය පැවසීය.
බී.ජී.චතුරංග