බිබිල පොලිස් වසමට අයත් හාමාපොළ හතරමං හංදිය අසලදී ඉකුත් (18) වෙනිදා ත්රීවීල්රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ පසුපැදිකරුවූ කාන්තාවක් මියගොස් ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බිබිල කොකුන්නෑව පදිංචි යූ.ජී හේමලතා (58) නැමති එක්දරු මවකි.
ඇය තම ස්වාමිපුරුෂයා සමඟ යතුරුපැදියෙන් නිවසේ සිට මැදගම දෙසට යමින් සිටියදී පිටකුඹුර මැදගම මාර්ගයේ ධාවනයවෙමින් තිබූ ත්රීවීල්රථයක් එකවරම අතුරු මාර්ගයකට හැරවීමේදී ත්රීවීල්රථය යතුරුපැදියේ ගැටී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වූ කාන්තාව බිබිල මූලික රෝහලට ඇතුලත් කොට කාන්තාව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ පසුපැදිකරුවූ කාන්තාව හිස්වැසුමක් පැළඳ නොසිටි බව අනාවරණයවී ඇත.
යතුරුපැදියෙන් වැටුණු ඇයගේ හිස බිම වැදීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය මියයන්නට ඇතැයි පොලීසිය විශ්වාසකරයි.
බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ සෙනරත් මහතාගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.මානවඩු මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොනරාගල- සුමනසිරි ගුණතිලක