බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත වැඩි දියුණු කිරීම සදහා සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගැනීම සම්බන්ධව සකස් කළ යෝජනාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (06දා) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි
විශේෂයෙන් බන්ධනාගාරගත රැදවියන් කෘෂිකාර්මික කටයුතු ඇතුළු අනෙකුත් කර්මාන්ත කටයුතු සදහා ඵලදායී ලෙස යෙදවීම, ඉදිරියේදී ආහාර හිගයක් ඇති වුවහොත් ඒ සදහා මුහුණදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින වගා නොකල ඉඩම් වගා කටයුතු සදහා යෙදවීම, දැනට සිදු කරනු ලබන වගා කටයුතු තවදුරටත් වැඩි දියුණු කිරීම, කෘෂි කර්මාන්ත කටයුතු සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීම, කර්මාන්ත කටයුතු සදහා සිරකරුවන් යෙදවීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ ඉදිරියේදී ඇතිවීමට නියමිත ආහාර හිගයට මුහුණ දීම සදහා කෙටි කාලීන භෝග වගා කිරීම සදහා යොමු විය යුතු බවයි.
වගා කටයුතු සදහා යොමු වීමේ කඩිනම් හා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත්, ඒ සදහා කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නා ලෙසත්, බන්ධනාගාරගත සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර 18 ක කර්මාන්ත 20 කට අධික සංඛ්‍යාවක සිරකරුවන් නිරත වන අතර ඒ අතරින් බන්ධනාගාර 13 ක කෘෂි කර්මාන්ත කටයුතු සිදු කරනු ලබයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා කෘෂි කර්ම දෙපාර්තමේන්තුව එක්ව ඉදිරි දින කිහිපය තුළ කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් කෙටි කාලීන භෝග වගා කිරීම සදහා යෙදවීමටත්, බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටි ආරච්චි, කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුර විජේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.