ශ්‍රී ලංකාවේ රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතා පැවසීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (20දා) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී මේ බව සඳහන් කළේය.
පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා වේ.
ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතී. එම අවස්ථාව උදාකරගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ජනාධිපතිතුමා පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතාගෙන් ඉල්ලා සිටියේය.
මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කළ අතර මෙරට අවශ්‍යතාව අනුව එය ඉටුකර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බව ද කථානායකවරයා සඳහන් කළේය.
ජාතික සභාවේ මන්ත්‍රී ජුන්ග් පිල්මෝ , ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් , විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වුහ.