රාත්‍රි කාලයේ නිවසක් අසළ නවතා තිබූ ත්‍රිරෝද රියක බැටරිය සොරකම් කිරීමට උත්සාහ කළ බවට සැකපිට හාලිඇල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (03) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියම වූයේ හාලිඇල ජයතිලක මාවතේ පදිංචි අයෙක් සහ හාලිඇල එගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හාලිඇල ජඟුල්ල ගස්ගොල්ල ප්‍රදේශයේ නිවසකට මඳක් දුරින් එම නිවැසියාට අයත් ත්‍රිරෝද රිය නවතා තිබී ඇති අතර ඉකුත්දා මධ්‍යම රාත්‍රියේ එම ත්‍රිරෝද රිය අසළ විදුලි පන්දම් එළියක් ගැවසෙන අයුරු එහි හිමිකරු දැක ඇත.
වහාම විදුලි පන්දමක්ද රැගෙන ත්‍රිරෝද රිය තිබූ ස්ථානයට යන විට ඒ අසළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලාගිය බවද පලාගිය පුද්ගලයින් දෙදෙනා බාහිර පෙනුමින් හඳුනාගැනීමට තමන්ට හැකිවූ බවද ඔවුන් ත්‍රිරෝද රියේ බැටරිය ගැලවීමට උත්සාහ කර ඇති බව දක්නට තිබූ බවද අදාළ ත්‍රිරෝද රථ හිමිකරු පොලිසියට පවසා ඇත.
පැමිණිළිකරුගේ ප්‍රකාශ අනුව විමර්ශන සිදුකළ හාලිඇල පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත එම පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
හාලිඇල- විජේරත්න ඒකනායක