ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදුකර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හැකිවනු ඇති බවට ඇතැමුන් සිතා සිටින බවත්, කෙසේ වෙතත් රාජාසන කතාව නීතියක් නොවන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මක් කිරිඇල්ල මහතා පැවසීය.
පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"පාර්ලිමේන්තුව පසුගිය මාස 07 ඇතුළත දෙවතාවක් වාරාවසාන කළා. ආවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියලා. නමුත් අද පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම දුර්වල කරලා. කාරක සභා සියල්ලම අද අහෝසි වෙලා තිබෙනවා. ඒ කාරක සභා ඉදිරියේ තිබුණු පරීක්ෂණ සියල්ලම අහෝසි වෙලා තිබෙනවා.
දැන් මේ රාජාසන කතාව හරහා යම්කිසි මතයක් ඇති කරලා, ආර්ථික අර්බුදයක් මතු කරලා මැතිවරණය කල් දැමීමේ සූදානමක් තියෙනවා කියලා ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල තිබුණා. මම ඔවුන්ට කියන්න කැමතියි මේ රාජාසන කතාව කියන්නේ රජයේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙළ පමණයි.
මේ රාජාසන කතාව පාර්ලිමේන්තුවේ සම්මත කළත් ඒක අරමුණක් පමණයි. මේක නීතියක් නෙවෙයි. සමහරු හිතනවා රාජාසන කතාව කළාට පස්සේ අධිකරණය බය වෙලා තීන්දුවක් දෙයි කියලා, මේක කල් දාන්න. ඒක තමයි ඇත්තටම කරන්න හදන්නේ. රාජාසන කතාවේදී ඡන්දෙ තියන්න බෑ, මුදල් නෑ කියලා බොහොම උජාරුවෙන් කෙඳිරිගෑවම අධිකරණයට ඒකට අවනත වෙයි කියන හැඟීම තියෙනවා.
නමුත් මම කියන්න කැමතියි රාජාසන කතාව කියන්නේ නීතියක් නෙවෙයි. අපේ අධිකරණය රටේ නීතිය අනුව මැතිවරණ තියන්න කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.
අනිත් එක පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් කරන කතාවක් පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යටත් වෙනවා. එළියේ ඉඳන් ඒ කතාව කළා නම්, සමහරවිට අධිකරණයට අපහාස කිරීමක් වෙන්නත් ඉඩ තිබෙනවා. කවුරු මොනවා කිව්වත් මම විශ්වාස කරනවා අධිකරණය හරහා මැතිවරණ කල් දැමීමේ තීන්දුවක් කිසිදු දවසක ගන්න බෑ කියලා."