රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
ගනුදෙනුකරුවෙකු රන් සුරැකුම් ණය ලබා ගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට මුලින්ම දැන ගැනීමට ලැබී ඇතැයි එම නිලධාරියා කීය.
මේ පිළිබඳ අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව එම රාජ්‍යය බැංකුවට අයත් මඩකලපුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂාවේ දී එම ගනුදෙනු කරු උකස් තබන ලබන රන් භාණ්ඩ තොගයට අමතරව තවත් ගනුදෙනුකරුවන් දොළොස් දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගත වී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය
2022 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තබන ලද රන් භාණ්ඩ එලෙස අස්ථානගත වී ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.
අදාල රන් භාණ්ඩ තොගය අස්ථානගත වීම සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාර වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
ගනුදෙනුකරුවන් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් අදාල බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
රුපියල් කෝටි දෙකකට අධික වටිනා රන්භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව බලා යාමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.