රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය කරයි
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත. මීට අමතරව ඉතිහාසයේ එක් මාසයක් තුළ සිදු කළ වැඩිම ඖෂධ නිෂ්පාදනය සිදු කරමින් මාර්තු මස පෙති සහ කරල් මිලියන 385 ක් නිෂ්පාදනය කිරීමටත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය සැපයුම් අංශය ලබාදුන් සියලු ඇණවුම් හිඟයකින් තොරව 100 % සැපයීමට ද ක්‍රියාකර ඇති අතර නව ඖෂධ නිෂ්පාදන 05 ක් (Celecoxub Capsules 200 mg, Sitagliptin Tablets 100 mg, Methylprednisolone Tablets USP 4 mg, Folic Acid Tablets 400 mg සහ Montelukast Tablets IP 10 mg) වෙළෙඳපොලට හදුන්වාදීමට ද කටයුතු කර ඇත. එමෙන්ම 2025 වසරේ සමස්ත ආදායම බිලියන 27.6 ක් ඉපයීමට ද සංස්ථාව සමත්ව ඇත.
මෙම කරුණූ අනාවරණය වුයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) අළුතින් හඳුන්වා දුන් නව ඖෂධ වර්ග ද්විත්වයක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත හඳුන්වාදීම සිදු වු අවස්ථාවේ දීය.
නව ඖෂධ අමාත්‍යවරයා වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතා විසින් සිදු කෙරිණි..
දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මකතාවයෙන් උසස් ආරක්ෂාකාරී, ප්රත්යක්ෂ ඖෂධ නිෂ්පාදනය සහ පහසු මිලට ලබාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ජපන් රජයෙන් ලැබුණු ආධාර ප්‍රදානයක් මත පදනම්ව 1987 වර්ෂයේදී පිහිටුවා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (State Pharmaceuticals Manufacturing Corporation – SPMC) 2025 වසරේ නව නිෂ්පාදනයන් වන Methylprednisolone Tablets USP 4 mg සහ Montelukast Tablets IP 10 mg නැමැති ඖෂධ ද්විත්වය මේ අනුව වෙළෙඳපොලට හදුන්වා දෙනු ලැබීය.
Montelukast Tablets යනු ලියුකොට්රීන් ප්‍රතිග්‍රාහක ප්‍රතිවිරෝධක ඖෂධයක් (Leukotriene receptor antagonist) වන අතර, දැවිල්ල අඩු කිරීමට, හුස්ම ගැනීම පහසු කිරීමට සහ ඇදුම සහ අසාත්මිකතා රෝග ලක්ෂණ වළක්වා ගැනීමට උපකාරී වන බවත්, MethylprednisoloneTablets දරුණු අසාත්මිකතා, ඇදුම සහ අනෙකුත් ශ්වසන ගැටළු, සමහර සමේ ගැටළු සහ ඇතැම් පිළිකා ඇතුළු විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන බෙහෙත් වට්ටෝරුවකින් පමණක් ලබා ගත හැකි ඖෂධයක් බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසරේ The Ceylon National Chamber of Industries – CNCI රන් සම්මානයෙන් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් National Business Excellence Awards 2026 – NBEA සම්මානයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්රශංසනාත්මක ඇගයීම් සම්මානයකට ද පාත්‍ර වී ඇත. එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය විසින් යහපත් නිෂ්පාදන පුරුදු සඳහා ලබාදෙන සහතිකය 2025 මැයි මස සිට 2027 මැයි දක්වා වසර දෙකක් සඳහා ලබාගැනීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ස්ථාපිත කර ඇති ඖෂධ තත්ත්ව කළමණාකරණ පද්ධතිය සියයට 85 ක විශාල ප්‍රගතියක් ද පසුගිය වසරේ වාර්තා කර ඇති අතර, මානව සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු 03 ක් ඇතුළුව විවිධ තනතුරු සඳහා 36 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ 2026 වසරේ ඖෂධ නිෂ්පාදන ඉලක්කය පෙති හා කරල් මිලියන 4000 ක් බවත්, නව ඖෂධ නිෂ්පාදන 10 ක් වෙළෙඳපොලට හදුන්වාදීමට සැලසුම් කර ඇති බවත්, ද දැනට රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයට නුදුරින් ඉදිවෙමින් පවතින මහල් 02 කින් යුත් ඖෂධ ගබඩා සංකීර්ණය ලබන මාර්තු මස විවෘත කිරිමට ද සංස්ථාව මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම නව පරිපාලන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරිමටත් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ගබඩා සංකීර්ණයක් සහ ඖෂධ නිෂ්පාදන සංකීර්ණයක් ඉදිකිරීම සහ ඖෂධ ඇසුරුම් කිරිම සඳහා නිෂ්පාදන සංකීර්ණයක් ඉදිකිරිමට සැලසුම් සකස් කරන බව ද සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වන විට ඖෂධ වර්ග 70 ක් නිෂ්පාදනය කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකතාවෙන් යුතු අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදන වට්ටෝරු සංවර්ධනය, ගබඩා කිරීම, තාක්ෂණික විශේෂඥ දැනුම සැපයීම, ඖෂධ පර්යේෂණ සහ ඖෂධ ප්රමිතිකරණය, අලෙවිය සහ ප්‍රවර්ධනය ආදී කටයුතු රැසක් සිදු කරනු ලබන ආයතනයකි.
නව ඖෂධ හඳුන්වා දීමේ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

