ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා ” පරිගණක යෙදුම් ” නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මඟින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ අද (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
"කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතුයි. කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුව තුළ ඉඩ ප්‍රමාණවත් නැතිනම් අපට වෙන ගොඩනැගිල්ලක් ඒ සඳහා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරක සභා සහ උපදේශක සභා සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන්ට වෙනම ගෙවීමක් වුණත් කළ හැකියි. ඒ වගේම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට සතියකට වත් කළින් කමිටු සහ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් කර මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවයෙන් එය ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් සකස් කළයුතුයි. හෙට ඉදිරිපත් කරන පනත අද මන්ත්‍රීවරුන්ට ලබාදීම ප්‍රමාණවත් නෑ.
මන්ත්‍රීවරුන්ට පනත අධ්‍යනය කිරීම සඳහා සති දෙකකවත් කාලයක් ලබා දිය යුතුව තිබෙනවා.
ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභා වල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින් ම තීරණය කර ලබාදිය යුතුයි.
අතීතයේ මේ රටේ ප්‍රාදේශීය සභා මට්ටමින් දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් (DRO) සිටියා. ඉන්දියාවේ හිටියේ එකතු කිරීමේ නිලධාරින් (Collecting officer). නමුත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්තවන විට දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් නැතිවෙලා ගියා.
අනතුරුව එම කටයුත්තට හිටපු නිලධාරීන් ආණ්ඩුවට ආදායම් එකතු කරනවා වෙනුවට ආණ්ඩුවේ තිබුණු මුදල් වියදම් කිරීමට කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවට ආදායම එකතු කිරීම සඳහා නැවත දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් දෙසීයක් වත් බඳවා ගැනීමට සිදු වේවි.
ඒ වගේම රාජ්‍ය ආයතන වල දත්ත නිරීක්ෂණයට ‘පරිගණක යෙදුම්‘ නිර්මාණය කිරීම මේ වන තුරු සිදු කළේ පෞද්ගලික අංශය මගින්. එය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ‘පරිගණක යෙදුම්‘ එම ආයතන මගින් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවලින් අයවැයට මාස දෙකකට පෙර රජයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.
