විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිආරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය අද (08) නොතිසි නිකුත් කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇත්නම් ගොනු කරන ලෙස මීට පෙර අවස්ථාවකදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට නොතිසි නිකුත් කර තිබුණත් ඔහු හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු හෝ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට මෙලෙස දෙවැනි වරටත් යළි නොතිසි නිකුත් කළේය.
මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කළේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.