රූමස්සල අභයභූමි ප්‍රදේශයේ මෙතෙක් නොතිබූ මාර්ගයක් ඉදිකිරීමට ඇතැම් පිරිස් දරණ උත්සාහයත් සමඟ එම ප්‍රදේශයේ ගස් කපා දමා එළි පෙහෙළි කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා කීවේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) සවස මාධ්‍යවේදීන් පිරිසක් සමඟ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුවය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව පසුගිය සඳුදා (01) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සම්බන්ධව මාධ්‍යවේදීන් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම චාරිකාව සංවිධානය කර තිබිණ.
රූමස්සල වනජීවී අභය භූමියේ මායිම ආසන්නයේ ප්‍රේරණ කලාපය හරහා අඩි 40ක් පළලට මාර්ගයක් ඉදිකරමින් පවතින බවට මාධ්‍ය මගින් අනාවරණය කළ පසු එම නිවේදනය නිකුත් කර තිබිණි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබූ එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ ප්‍රදේශය හරහා අඩි පාරක් ඇති බවත් එම අඩි පාර දෙපස ගස් කපා විනාශ කර නොමැති බවත්ය. ගස් කපා දමා ඇත්තේ යාබද ඉඩමකට ප්‍රවේශ මාර්ගයක් සඳහා බවත් එහි සඳහන් කර තිබිණි.
නමුත් ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට මාධ්‍යවේදීන් විසින් කරුණු පැහැදිළිකරදීමෙන් අනතුරුව ඊයේ (02) සවස මෙම ක්ෂේත්‍ර චාරිකාව සංවිධානය කරන ලද්දේ සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙනි.
මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්යක්ෂ සුසන්ත වෙදගේ මහතා කියා සිටියේ එම ක්ෂේත්‍ර චාරිකාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් මීට පෙර එම ස්ථානය පිළිබඳ වාර්තාව සැකසූ නිලධාරීන් සහභාගී කරවන බවයි.
එලෙස පැමිණි නිලධාරීන් සමඟ මාධ්‍යවේදීන් පිරිස නිරීක්ෂණ චාරිකාවේ නිරතවීමේ දී රූමස්සල වනජීවී අභයභූමියේ සීමා මායිම් ආසන්නයෙන් ම වැටී ඇති අඩි පාර දෙපස තැන තැන ගස් කපා දමා ඇති ආකාරයත්, එම අඩි පාරේ සිට සාම චෛත්‍යය දෙසට අඩි 05ක පමණ ගස් වැටියක් ඉතිරි කර යෝජිත අඩි 40 මාර්ගයේ පළලට සමාන වන පරිදි තවත් අඩි 30ක පමණ ප්‍රමාණයක් ගස් කපා හෙළි පෙහෙළි කර ඇති ආකාරයත් පැහැදිලිව දැකගත හැකිවිය.
රූමස්සල ජන්ගල් බීච් දෙසට යන මාර්ගයෙන් හැරී යන පීල්ල පාර නම් අඩි පාර ආරම්භයේ සිටම පුළුල් කරමින් තිබෙන ආකාරයත් ඒ අසළ කළු ගල් කඩා ඉවත්කර ඇති ආකාරයත් මෙම ක්ෂේත්‍ර චාරිකාවේ දී මාධ්‍යවේදීන් විසින් පෙන්වා දුන්නේ මාස කිහිපයක් පුරා වරින් වර එම ස්ථානයේ ගන්නා ලද ඡායාරූප ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි.
ඒ අවස්ථාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂවරයා කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් මීට සතියකට පමණ පෙර එම ස්ථානයට පැමිණෙන විට එම ගස් කපා දමා ඇත්තේ පුද්ගලික පදිංචිකරුවකුගේ නිවසට යාමට යැයි ග්‍රාම නිලධාරීවරයා පැවසූ බවයි. නමුත් එම නිවස කුඩා ලෑලි නිවසක් වන අතර එය අනවසර පදිංචිකරුවකුගේ නිවසක්යැයි චෝදනා කරමින් අසළ ඇති ජපන් සාම චෛත්‍යයේ නායක හිමියන් පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබිණි. එවැනි කුඩා නිවසක පදිංචි පවුලකට අඩි 40ක් විශාල මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම මාර්ගය උණවටුනේ හෝටලයක් සඳහා අනවසරයෙන් සකස් කරන පිවිසුම් මාර්ගය බව ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු චෝදනා කරති.
වනජීවී දෙපාර්තමේන්තුව විසින් අභයභූමියේ සීමා මායිම්කර ඇති මායිම් ගල් පැහැදිලිව දක්නට ඇති අතර එයට යාබදව මෙම මාර්ගය ඉදිකරමින් පවතින්නේ අභයභූමියේ මීටර 100ක ප්‍රේරණ කලාපයේ බවත් එහිදී නිරීක්ෂණය විය.
එය කිසිසේත්ම එළි පෙහෙළි කළ හැකි ප්‍රදේශයක් නොවන පව පැවසූ සහකාර අධ්යක්ෂ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මේ කරුණු තමන් මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්යක්ෂවරයා මගින් සභාපතිවරයා වෙත කඩිනමින් වාර්තා කර එම කොටස එළි පෙහෙළි කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
සිරංගිකා ලොකුකරවිට