රුපියල් කෝටි තුනකට මිල කර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ (40) සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමඟ අත්අඩංගුවට ගැනිමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය ඊයේ (2) දා රාත්‍රී සමත් විය .
මෙම වාලම්පුරියේ දිග අඩි 1යි අගල් 6 1/2 කි . වටප්රමාණය අගල් 20 කි . බර කි.ග්‍රෑම් 1 යි ග්‍රෑම් 100 කි.
ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙක් යොදවා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි .
කම්කරු නිවාසයේ කාමරයක් තුළ සුදු රෙද්දක් මත සුදුහාලිවලින් මෙම වාලම්පුරිය වසා දේව රූපයක්ද තබා කපුරු හා හදුන්කූරු දල්වා තිබූ අතර එම ස්ථානයට පුද පූජාවන්ද පවත්වා ඇතැයි වැටලීම සිදු කළ පොලිස් නිලධාරිහු පවසති .
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටියේ තේවත්තක පදිංචි කරුවෙක් වන අතර යාපනයේ සිට අලෙවි කිරිම සඳහා මෙම වාලම්පුරිය රැගෙන ආ බව ඔහු පැවසූ බව පොලීසිය සඳහන් කරයි .
වාලම්පුරිය තැන්පත් කර තිබූ නිවෙස් හිමිකරු සමඟ එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර නිවෙස් හිමියා වැටලීම සිදුවන අවස්ථාවේ පළා ගොස් තිබේ .
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවද පොලීසිය සඳහන් කළේය .
බදුල්ල- පාලිත ආරියවංශ