තම ඉනෙහි බදින පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සගවා ගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (25) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු මාතලේ ප්‍රදේශයේ උපන් , දැනට කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකි .
මොහු තම හාම්පුතා වෙනුවෙන් විදේශගත වී , ඔහුට අවශ්‍ය භාණ්ඩ ගුවන් මගින් මෙරටට ගෙනවිත් අලෙවි කිරීමේ කටයුතු වල යෙදෙන ව්‍යාපාරික සහායකවරයෙකි .
ඔහු ඊයේ දින දහවල් 12.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , ව්‍යාපාරිකයන් විසින් තමන් රැගෙන එන භාණ්ඩ සඳහා බදු ගෙවා ගුවන් තොටුපළෙන් පිටව යෑමට ඇති " රක්ත මාවත " ඔස්සේ ගමන් ගනිමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
එහිදී මොහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ ග්‍රෑම් 100 බැගින් වූ රන් බිස්කට් හතරෙහි මුළු බර ග්‍රෑම් 400 ක් වූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් මත සිදු කෙරෙමින් පවති.
කටුනායක- ටි.කේ.පි කපිල