නුවරඑළිය, නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සිදු වු මාරක රිය අනතුරට හේතුව බස් රථයේ අධික වේගය බවට මුලික විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
බස් රථයක්, වෑන් රථයක් හා ත්රී රෝද රථයක් ගැටීමෙන් සිදු වු මෙම අනතුරින් එකම පවුලේ හතර දෙනෙකු, එම පවුලේ ඥාති පුතෙකු, වෑන් රථයේ හා ත්රී රෝද රථයේ රියදුරන් ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වු බවද පොලීසිය කියයි.
බස් රථය වේගයෙන් ගොස් වෑන් රථය හා ත්රී රෝද රථවල ගැටී ඇති බවත්, ඉන් අනතුරුව බස් රථය ආරක්ෂක ඇදිවලින් ඉවතට පැන තේ වතුයාය මැදින් අඩි 50 ක පමණ පල්ලමකට ගොස් පස් කන්දක වැදී නැවතී තිබු බව පොලීසිය සඳහන් කරයි.
බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් බස් රථය පාලන කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වු බව බස් රථයේ රියදුරා පවසා ඇති බවත්, එහෙත් මෙම අනතුර පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹිය හැක්කේ මෝටර් රථ පරීක්ෂකවරයා පැමිණ සිදු කරනු ලබන විමර්ශණවලින් පසුව බවද පොලීසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු අද (22) දිනයේ නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද නානුඔය පොලීසිය වැඩිදුරටත් පවසයි.